Friday 24th of April 2026

English Tamil
Advertiesment


යහ පාලන දීගය කටු නොගාන බවට ජනපති යළිත් සහතික වෙයි


2018-04-03 14869

(සුජිත් මංගල ද සිල්වා)

 

යහ පාලන ජාතික ආණ්ඩුව 2020 දක්වා එකට එක්ව ඉදිරියටම ගෙන යා හැකි ශක්තිමත් වැඩ පිළිවෙළක් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට ඊයේ (02) රාත්‍රියේ දැනුම් දී තිබේ.

ඔහු මේ බව දැනුම් දී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග කොළඹ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී වන අතර මේ සියලු ප්‍රශ්නවලට හේතුව මහ බැංකු  බැඳුම්කර සිද්ධිය බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී චෝදනා කර තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දී තිබෙන්නේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් මගින් කරුණු විමර්ශනය කර ඊට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ඒ ඒ ආයතනවලට වගකීම් පවරා ඇති බැවින් විශ්වාස භංග යෝජනාවත් සමග ඒ ක්‍රියාදාමය පටලවා නොගත යුතු බවය.

ශ්‍රී ලංකා රාජ්‍යයේත්,ආණ්ඩුවේත්,කැබිනට් මණ්ඩලයේත්  ප්‍රධානියා වන්නේ ද  ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අණ දෙන නිලධාරියා වන්නේ ද ජනාධිපතිවරයා වන පසුබිම යටතේ  අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් කියවෙන්නේ  ජනාධිපතිවරයා සහ ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳ ද  විශ්වාසයක් නොමැති බව යැයි ද ඒ අනුව මේ විශ්වාස භංගය අගමැතිවරයා නොව විශේෂයෙන් ජනාධිපතිවරයා ඉලක්ක කර ගත් දෝෂාභියෝගයක් වැනි යැයි ද එම මැති ඇමතිවරුන් අවධාරණය කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් “lankanewsweek” සමග පැවසුවේ 2020 දක්වා යහ පාලන ආණ්ඩුව ඉදිරියටම ගෙන යන්න ශක්තිමත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා කළ දැනුම් දීමෙන්,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එම ගමන ඉදිරියට යන කතාවක් කියැවෙන්නේ නැතැයි අවධාරණය කළේය.

 
Advertiesment